Saturday, May 28, 2011

කජු ඇටේ

මැදිවියේ පසුවූ ජයපාල සිය බිරිඳ සමඟ රට කජු කමින් TV බලමින් සිටියේය. පුරුද්දකට මෙන් ඔහු සාමාන්‍යයෙන් රට කජු කන්නේ කජු ඇටය උඩ දමා එය පහලට එන ඉලක්කයට මුව යොමු කිරීමෙන්ය. එදිනද ඔහු එසේ කජු කමින් සිටියදී බිරිඳ ඇසූ පැනයකට හිස හරවා පිලිතුරු දීමට ගොස් කජු ඇටයක් ඔහුගේ කනේ හිර විය.
දන්න කියන මොන ගොඩ වෙදකම කලද කජු ඇටය ආපසු ගන්නට බැරි විය. මේ ජරමරය ඇසුනු ජයපාලගේ දියණිය උඩු මහලේ සිට දිව ආවාය. ඇය පසුපසින් ඇයට A/L tuition දීමට නිවසට පැමිණෙන ඇගේ යහලුවාද දිව ආවේය.
"ඇයි අම්මා මේ ජරමරේ?"
"බලන්න දුව, තාත්ත වීරය වගේ කජු කන්න ගිහින් කජු ඇටයක් කනේ හිර කර ගත්තනෙ. මේක මොන විදියකටවත් එලියට ගන්න බෑ. කනේ නිසා අනං මනං ඔබන්නත් බෑ. දැන් doctor කෙනෙක් ලඟටවත් ගෙනියන්න වෙයි."
"බය වෙන්න එපා ඇන්ටි, මම දන්නව ඕක එලියට ගන්න ක්‍රමයක්." කියූ tuition යහලුවා ජයපාලගේ නාස් පුඩු දෙකට සිය දබර ඇගිල්ල හා මැදැගිල්ල ඇතුලු කර සිර කර ඔහුට තදින් පිඹින්නැයි කීවේය. කියූ පරිද්දෙන්ම කජු ඇටය 'ටකස්' ගා කනින්  එලියට පැන්නේය.
බිරිඳට හා දියණියට සතුට නිමක් නැත. තම යහලුවා තාත්තා අකරතැබ්බයකින් ගලවා ගැනීම ගැන උද්දාමයට පත් වූ දියණිය නැවතත් පාඩම් වැඩ ආරම්භ කිරීමට ඔහු හා උඩු මහලට ගියාය.
උද්දාමයට පත් බිරිද දියණියගේ යහලුවාගේ ගුණ අතොරක් නැතිව ගැයීමට පටන් ගත්තාය.
"බලන්න කොච්චර දක්ෂ සීදේවි ළමයෙක්ද කියල, ඉගන ගන්නත් හරිම දක්ෂලු, හොද ගුණ යහපත් ළමය. මටනම් හිතෙන්නෙ කවද හරි දක්ෂ දොස්තර මහත්තයෙක් වේවි. ඔයා හිතන්නෙ ඒ දරුව කවුරු වෙයි කියලද"?

මගේ නහයෙ ඇගිල්ල ගහද්දි ආපු ග‍ඳෙන් නම් තේරෙන්න මිනිහ කවද හරි අපේ බෑණ වෙයි කියල" ජයපාල රොස් හඩින් පිලිතුරු දුන්නේය.

Unfaithful

තරමක් අසනීප ගතියක් දැනුන පෙරේරා සේවා ස්ථානයෙන් කලින් පිටත් විය. නිවසට ඇතුලු වෙත්ම ඔහුට උඩු මහලේ සිය කාමරය දෙසින් සිහින් කෙදිරිල්ලක් ඇසුණි. මේ වේලාවට උඩු මහලේ කාමරයේ සිටින්නේ බිරිඳ පමණි. "ඇයට අසනීපයක්වත්ද?' කලබලයටත්, භීතියටත් පත් පෙරේරා දඩි බිඩි ගා බර අඩි තබමින් උඩු මහල දෙසට දිව ගියේය. කාමරයට ඇතුලු වෙත්ම ඔහු දු‍ටුවේ මාග්‍රට් පපුව අල්ලාගෙන කෙදිරි ගාන අයුරුය.
"ඩාලිං මට අමාරුයි. ඔයා ආපු එක හොදයි. ඉක්මනට පහලට ගිහින් Ambulance එකකට call කරනවද?" මාග්‍රට් ඉතා අපහසුවෙන් ඇසුවේය.
විදුලි වේගයෙන් යලි පහලට දිව ගිය ඔහු දුරකථනයෙන් ගිලන් රථ සේවයක් අමතා පිලිතුරක් ලැබෙනතෙක් බලා සිටිද්දී ඔහුගේ කුඩා පුතු බියපත් මුහුණෙන් ඔහු දෙසට දිව ආවේය;
"තාත්තෙ, තාත්තෙ, අර එහා ගෙදර විල්බට් මාම අම්මගෙ අල්මාරිය අස්සෙ ඇදුම් නැතිව හැංගිලා ඉන්නව"
රිසීවරය වේගයෙන් තැබූ පෙරේරා ක්‍රෝධයෙන් ගිණි ගත් දෙනෙතින් නැවතත් උඩු මහලට දිවගොස් එක්වරම අල්මාරියේ දොර විවර කලේය. පුතු කීව පරිද්දෙන්ම විල්බට් ඇඟේ නූල් පොටක්වත් නැතිව අල්මාරියේ සැඟවී සිටියේය. ඒ දු‍ටු පෙරේරා විල්බට් වෙත කඩා පැන්නේය,

"යකෝ, මගේ ගෑණි අරෙහෙ පපුවෙ අමාරුවක් හැදිල මැරෙන්න යනව. ‍තෝ මෙතන ඇදුම් නැතුව අල්මාරි අස්සෙ හැංගිල මගේ පොඩි එකා බය කරනව!!!"

Tuesday, May 17, 2011

අධෝ වාතය

පීටර් වෛද්‍යවරයෙකු හමුවට ආවේය.
"දොස්තර මහත්තයෝ, මට මාර ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ. මට නිතරම වාතෙ පිට වෙනව. හැබැයි වැඩේ කියන්නෙ මේව ගඳත් නෑ. සද්දෙකුත් නෑ. දැන් මම දොස්තර මහත්තය එක්ක මේ කතා කර කර ඉන්න ටිකටත් මට 10සැරයක් විතර වාතෙ පිට වුනා. ඒත් ගඳත් නෑ. සද්දෙත් නෑ. පුදුම වැඩක්"
දොස්තර මහතා සද්දයක් නැතිව ඔහුට බේතක් ලියා තව සති දෙකකින් එන ලෙස දැන්වීය. සති දෙකකින් පීටර් නැවතත් දොස්තර මහතා හමුවට ආවේය.
"මම මහත්තය දීපු බේත් සති දෙකම පාවිච්චි කරා. ඒත් මහත්තයෝ මේ වාතෙ පිට වෙන එකේ කිසි අඩුවක් නෑනෙ. හැබැයි වැඩේ කියන්නෙ දැන් දැන් පිටවෙන ඒව නම් ගඳයි.හැබැයි සද්දයක් නම් නෑ"
"ඒක තමයි. අපි පහුගිය සති දෙකේ ප්‍රතිකාර කලේ ඔයාගෙ කෝටරක ප්‍රදාහයට (chronic sinusitis- ගඳ, සුවඳ නොදැනීම මෙහි රෝග ලක්ෂණයකි). දැන් අපි ඔයාගෙ කන් ඇහෙන්නෙ නැති ප්‍රශ්නයට ප්‍රතිකාර කරමු."

"යකෝ මම මහේල"

සංගක්කාර වෙත පැමිණි බිරිඳ මෙසේ කීවාය.
"සංගා.....ගෙදර හුඟක් බඩු ඉවරයි. අනේ super market ගිහින් මට බඩු ටිකක් ගෙනත් දෙන්නකො"
"අනේ බෑ මට එලියට බහින්න. World cup එක පැරදුනාට පස්සේ මට රටට ලෝකෙට මූණ දෙන්න ලැජ්ජයි. ඒ මදිවට උන් අහන ප්‍රශ්න?. දේශපාලන බලපෑම් තිබ්බද අහයි. තර‍ඟෙ පාවල දුන්නද අහයි. නායකත්වෙන් අස්වුනේ ඇයිද අහයි. මට නම් බෑ ඕවට උත්තර දෙන්න"
"හරි හරි සංගා....ඒ ඉතින් මිනිස්සු ඔයාව අදුර ගත්තොත්නෙ. ඔයා මගේ සාරියක් ඇඳන් වෙස් වලා ගෙන යන්නකො. වැඩේ shapeනෙ"
බිරිඳගේ උපාය මාර්ග අනුව සාරියකින් සැරසුනු සංගා super market ගොස් ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ‍තෝරමින් සිටියේය.එක් වරම ලඟ සිටි කාන්තාවක් සංගා ඇමතුවාය.
"හලෝ...සංගා....බඩු ගන්න ඇවිත් වගේ"
"මල කෙලියයි. මේ ගෑණි කොහොමද මාව අඳුර ගත්තේ?" සංගා කල්පනා කලේය. "ඔ...ඔය්යා කොහො...ම්ම්ද මාව අන්..දුර ගත්තේ" ඔහු ගොත ගසමින් විමසීය
"යකෝ මම මහේල" කාන්තාව පිලිතුරු දුන්නාය.

ගෑණියි හොර ගෑණියි

ගුණදාස හා සෝමදාස හීන් අඩියක් ගසා කතාවක් දමමින් පාර දිගේ වැනි වැනි ඉදිරියට ආවෝය. පාරේ අනෙක් කෙලවරින් කාන්තාවන් දෙදෙනෙක් මතුවනු දු‍ටු ගුණපාල දඩි බිඩි ගා පාරෙන් පැන අකුලක සැඟවුනේය.තත්පරදෙක තුනක පරක්කුවෙන් සෝමදාසද සැඟවිමට එතනටම පැමිණියේය                                 
"මොකද බං උඹ එලෝ මෙලෝ නැති වෙලා වගේ ගිහින් එක පාරටම හැංගුනේ?' සෝමදාස ගුණපාලගෙන් විමසීය.
"අර පාරෙ අනෙක් කෙලවරින් ගෑණු දෙන්නෙක් මතු වුනා නේද? ඒ මගෙ ගෑණියි. හොර ගෑණියි. උන් දෙන්නම එකට ඉන්න තැනක මම අහුවුනොත් මම විනාසයි............ඒක නෙමෙයි, දැන් උඹ හැංගුනේ ඇයි?" ගුණපාල සෝමදාසගෙන් පෙරලා විමසීය
"මටත් උඹේ සන්තෑසියම තමයි බං. මගෙත් ගෑණියි හොර ගෑණියි එතන හිටියනෙ"

ලේ පැල්ලම

හදිසි අනතුරකට ලක්වූ ජීවන්, රෝහලට ගෙන යන අතරමඟදී, ඔහුගේ නැගණිය වූ හිරෝෂිගේ දෑත් මතම අවසන් සුසුම් හෙලුවේය. සිය සොහොයුරාගේ අකල් වියෝවෙන් මහත් කම්පනයට පත්ව සිටි හිරෝෂිට සිය සොහොයුරා අවසන් ගමන් යද්දී උණුසුම් රුධිරයෙන් තෙත්වූ ඇගේ සුදු පැහැ ගවුම දකින දකින වාරයක් පාසා ඇති වුයේ මහත් වේදනාවකි. එය දකින දකින හැම වරක් පාසාම ඇයට සිදුවූ හැම දෙයක්ම පිලිබද සිහියට නැගී හදවත් ශෝකයෙන් පෙලන්නට විය. මේ නිසා ඇය මේ ගවුම සෝදා දැමිය යුතුයැයි තීරණය කලාය.
කෙතරම් උත්සාහ කලද එහි වූ ලේ පැල්ලම් සෝදා හැරිය නොහැකි විය. අතේ සේදුවද, washing machine එකේ සේදුවද කෙසේවත් මෙම පැල්ලම් සෝදා හැරිය නොහැකි විය. ගවුම සේදීමේ උත්සාහය පසකට දැමූ ඇය හිත වෙනත් අරමුණක යෙදවීමට උත්සාහ කලද එයද සාර්ථක නොවූ කල්හි සියල්ල දමා ගසා නින්දට වැ‍ටුනාය.
හදිස්සියේම ඇය අවදි වූයේ අද්භූත ශබ්දයක් ඇසීමෙනි. ඒ වන විට කලුවර වැටී තිබිණි. අයියාගේ සොහොන් කොත දෙසින් හමා එන සුලං ‍රැලි බියකරු හඩක් නංවමින් ජනෙල් පියන් මත වැදී විවර වී තිබූ ජනෙල් පද්දන්නට විය. ඉන් නැගුනු හඩ ඇය තවත් තිගැස්මට පත් කලේය. අතොරක් නැතිව සොහොන් කොත දෙසින් බල්ලන් උඩු බුරුලන්න විය. කුණු වූ කරවල බදු ගඳක් ඇයට ආග්‍රහණය විය. භීතියේ උච්චත්වයට පැමිණි ඇයට කොදු නාරටිය දිගේ සීතලක් දිව යන්නාක් මෙන් දැනිනි.
එක් වරම මේ සියල්ලකම නිහඩ විය. ඉනික්බිතිව ඇගේ සවනට වැ‍ටුනේ සොහොන දෙසින් යමෙක් ඇවිද එන අඩි ශබ්දයයි. ඒ හඩ ඇයට අමතක විය නොහැක. ඔව්, ඒ ජීවන්ගේ ක්‍රියාශීලී පාද තබන විට නැගෙන හඩයි. වෙනදා ඇය ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන ඒ හඩ අද ඇයට ඇතිකරන්නේ මාරක බියකි. කෙමෙන් කෙමෙන් නිවසේ දොර ලඟට පැමිණි අඩි ශබ්දය දොර අබියස නැවතිනි. අනතුරුව ඇසුනේ නොනවත්වා දොරට තඩි බාන හඩය. අඩු ශබ්දයකින් පටන් ගත් ඒ හඩ කෙමෙන් කෙමෙන් දැඩි වන්නට විය. අසරණ හිරෝෂි කාමරය මුල්ලට වී කන් වසා ගෙන කෑ ගැසුවාය. මවුපියන් ජීවන්ට පින් පැමිණවීමට දුර ඈත ආරණ්‍යයකට දානයක් දීමට ගොස් සිටි නිසා නිවසේ සිටියේ හිරෝෂි පමණි. හිරෝෂිගේ අසරණ විලාපය හමුවේද දොරට තඩි බෑම නතර වූයේ නැත. පාන්දර වනතුරු මේ ආකාරයෙන් තත්වය පැවතුණි. උදෑසන හිරු එලිය වටින් ගොඩින් එබිකම් කරද්දී දොරට ගසන හඩ ක්‍රමයෙන් අඩුවිය. අනතුරුව අඩි ශබ්දය නිවසින් ඉවතට ගොස් ක්‍රමයෙන් නෑසී ගියේය. බියෙන් අප්‍රාණික වූ ස්නායු ප්‍රකෘති තත්වයට පැමිණීමට සෑහෙන්න වෙලාවක් ගත විය. පියවි තත්වයට පත්වූ විගස ඇය කල්පනා කලාය,
"සැකයක් නෑ. ඒ අයියම තමයි. දෙයියනේ....!!!! අයිය භූත ආත්මයක් වෙලාවත්ද? එකත් එකටම අර ලේ පැල්ලම හෝදනකන් අයියට සමාදානෙ සැතපෙන්න බැරි ඇති. මේව ගැන අම්මලට කියල හිත කලබල කරවන්න ඕන නෑ. මම කොහොමහරි මේ පැල්ලම යවල අයියට සුගතියට යන්න උදවු කරනවා"
පසුදාද ඇය සම්පූර්ණයෙන්ම වාගේ ගත කලේ එම ලේ පැල්ලම සෝදා හැරීමටය. විවිධ ක්‍රම භාවිතා කලද ලේ පැල්ලම පරණ පරිදිම ගවුමේ ‍රැදී තිබිණි. ‍රැය එලඹෙත්ම ඇය ක්‍රමිකව භීතියට පත්වන්නට විය. එදිනද මැදියම ලං වෙත්ම පෙරදා පරිදිම සොහොන් කොත දෙසින් අත්භූත හඩවල් ඇලෙන්නට විය. ඉන් පසු නිවසේ දොර ලඟට එන ජීවන්ගේ අඩි ශබ්දයද ඉනික්බිති නොනවත්වා ඇසෙන දොරට තඩිබාන හඩද ඇය භීතියෙන් උමතු කිරීමට සමත් විය.දොර විවර කිරීමට පවා මුලු ගැන්වී සිටි තැනින් එලියට ඒමටවත් ඇයට සිත දිරිමත් කරගත් නොහී විය.
භීතියෙන් මුසපත්ව මුලු රාත්‍රියම මුලු ගැන්වී සිටීමට ඇයට සිදුවිය. අලුයම එලඹෙත්ම පුරුදු පරිදි අඩි හඩ සොහොන් කොත දෙසට ගොස් නෑසී ගියේය.
ඊලඟ දවසේද දවල් කාලයම ඇය වැය කලේ ලේ පැල්ලම සෝදා හැරීමටය. මොන සෙල්ලම් දැම්මත් ලේ පැල්ලම සෝදා හැරිය නොහැකි විය. රාත්‍රිය එලඹෙත්ම නැවතත් ඇය භීතියට පත් වන්නට විය. අදත් මේ පාලු නිවහන තුලදී ඇයට සිය සහෝදරයාගේ භූතාත්මය හා ගැටීමට සිදුවේද?
එදිනද මැදියම එලඹෙත්ම සීතල මූසල සුලං ‍රැලි සොහොන් කොත දෙසින් හමා එන්නට විය. ඉන් අනතුරුව ජීවන්ගේ කෙලිලොල් අඩි ශබ්දය ක්‍රමයෙන් නිවස දෙසට සේන්දු වන්නට විය. කර කියා ගත දෙයක් නොවූ හිරෝෂි අසරණ සා පැටවෙකු සේ කාමරයේ මුල්ලකට වී ඉතිපිසෝ ගාථාව මුමුනමින් සිටියාය. දොර ලඟට පැමිණි ජීවන්ගේ භූතාත්මය දොර දෙකඩ වන තරම් හඩ නංවමින් ඊට පහර පිට පහර එල්ල කරන්නට විය. ඒත් සමඟ මුසු වූ බල්ලන් උඩු බුරුලන හඩ හා වවුලන්ගේ නාදය රාත්‍රියේ බියකරු බව දෙගුණ තෙගුණ කලේය.
"මොනව වුනත් ඒ මගේ අයියා!!! ඇයි මම අයියට මග හරින්නෙ??? හෙට අම්මල ආවම අයිය භූතාත්මයක් වෙලා කියල දැන ගත්තම ඒ අයට මොනවා හිතෙයිද? " හිරෝෂිගේ සිතේ ප්‍රශ්න සිය දාස් ගණන් එහෙ මෙහේ ගමන් කරමින් තිබිණි.
දැන් දැන් දොර අසවු වලින් ගැලවෙන තරමටම දොරට තඩිබාන හඩ දැඩිව තිබුණි. අයියා ජීවත්ව සිටි කාලයේ ඔහු සමග ගෙවූ සොදුරු මතකද හිරොෂිගේ සිතට වරින් වර දිව ආවේය. සොයුරු ස්නේහය වසන් කර ගත නොවූ හිරෝෂි එක් ඇසිල්ලකදී වහා නැගිට සිටියාය.
"මම දොර ඇරල එක පාරක් හරි අයියව බලනව. මොනව උනත් ඒ මගේ අයිය"
බියෙන් පැකිලෙමින් වුවත් ඇය දොර දෙසට පා තැබුවාය. මෙතෙක් වේලා රුදුරු ලෙස දොරට එල්ලවු පහරවල් ඇය දොරට සමීප වෙත්ම සෞම්‍ය විය. බියකරු හඩවල් මොහොතකට යටපත් විය. සිතේ සියලුම ධෛර්යය එක තැනකට එක් කර ගත් ඇය දොරේ අගුල එක් වරම කැරකැවීය.

සුදෝ සුදු වතින් සැරසුනු ජීවන් දොර අභියස සිටගෙන ඇගේ දෑස් දෙස සෘජුව බලා සිටියේය. වෙනදා තිබෙන දයාබර බැල්ම වෙනුවට එහි තිබුනේ ක්‍රෝධයෙන් පිරුණු බැල්මකි. ඊලඟ නිමේෂයේදී ඔහු ඇය ඇමතීය.
"මෝඩි, පැල්ලම් යවන්න පාවිච්චි කරන්න ඕන Surf Excel කියලවත් දන්නෙ නැද්ද? නොදෝකින් මේක කියන්න මම විදපු දුකක්" කියූ ජීවන් නොපෙනී ගියේය.
Related Posts Plugin for WordPress, Blogger...